ෆයිබ්‍රොමයැල්ජියාවේදී , අදාල පුද්ගලයා මුහුණදෙන ප්‍රධානම ගැටළුවක් වන "වේදනාව" ගැන අප මේ වෙත්දි කතා කර අවසන්. මාස තුනකට වඩා පවතින මේ "අසාමාන්‍ය සහ හේතුවක් හදුනාගත නොහැකි" හොල්මන් වේදනාවට පසු, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාට විඳින්නට සිදුවන වඩාත් අපහසුකාරී තත්ත්වය වන්නේ මේ "වෙහෙසයි fibro fatigue".
"වෙහෙස" ගැන කියන්නත් තරම් දෙයක්දැයි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් වුනත්, මෙම තත්ත්වයේදී එන වෙහෙස, නිරෝගී හෝ වෙනත් සෞඛ්‍යය තත්ත්වයක් මත සිටින්නෙකුට දවසේ දැනෙන වෙහෙසට වඩා වෙනස්කම් කිහිපයක් තිබෙනවා. උදාහරණයක් අපි ඕනම කෙනෙක්ට යම් වැඩක් කළාම වෙහෙසක් දැනෙනවා. නමුත්, ඒ වැඩ කටයුතු නවත්වා , "විවේක" ගත්තාම ආයෙත් සාමාන්‍ය ශාරීරික ශක්තිය, හැකියාව එන මට්ටමට හෝ ආසන්න තත්ත්වයක වෙහෙස නිවීමක් වෙනවා. ඒ නිසානේ අප ඕනම වැඩක් කරත්දි වරින්වර "විවේක ගන්නේ". නමුත් ෆයිබ්‍රො වලදි මතුවන වෙහෙස පහසුවෙන් අඩු නොවන, ඒ වගේම කායිකව විතරක් නොවේ, මනසට පවා බලපාන වෙහෙසක්.
අනෙක් වෙනස තමයි , සාමාන්‍ය "නිරෝගී වෙහෙස" , අප කරන කටයුත්තේ බරට අනුලෝමය සමානුපාතයිනේ. උදාහරණයක් විදියට, ලොකු බරක් ඉස්සුවොත් වැඩි මහන්සියක් දැනේවි, නැත්නම් දිගු වෙලාවක් වැඩ කළොත් තමයි වැඩි මහන්සියක් දැනෙන්න පටන් ගන්නේ. නමුත්, ෆයිබ්‍රො වලදි එහෙම කරන වැඩේ දිග පළල, බර වගේ සාධක සෘජුව අදාල වෙන්නේ නෑ. පොඩි වැඩක් කළත් ලොකු වෙහෙසක් ඇති වෙන්න පුළුවන්.
තව අසාමාන්‍ය වෙනසක් මේ ඒ තමයි මොන වෙලාවෙ ඇති වේදැයි විශ්වාස කළ නොහැකි බව. උදාහරණයක්, සාමාන්‍ය තත්ත්වයේ ඉන්න අප දන්නවා, අපට වෙහෙසක් ඇති විය හැකි අවස්ථා. ගේ දොර අස්පස් කරපු වෙලාවට, රැකියාවේ ලොකු වගකීමක් සහිත ව්‍යාපෘතියක කටයුතු කරත්දි, ටිකක් වේගෙන් ඇවිදගෙන යත්දි ...ඔය විදියට අපට මහන්සිය දැනෙන හෝ දැනිය හැකි අවස්ථාව ගැන අපට පෙර අදහසක් තියා ගන්න පුළුවන්නේ. නමුත් fibro fatigue වලදි ඒ කියන්නේ ෆයිබ්‍රොමයැල්ජියාවේදි එන වෙහෙස එහෙම පෙර හදුනාගැනීමක් කරන්න, අනාවැකි කියන්න අපහසුයි, මොන වෙලාවෙ ඇතිවේද කියල හිතා ගන්න බැරි, හුඟක් වෙලාවට ඒ වෙහෙස ඇතිවීමට හේතුවක් පවා වටහා ගන්නට බැරි විශේෂ වෙහෙසක්.
දිග ලිපියක් විදියට ලියනවාට වඩා මේ කියන කරුණූ ටික කෙටියෙන් මෙන්න මේ විදියට එකතු කරන්නම්. මොකද දැන් අදහසක් තියෙනවානේ fibro fatigue වලදි ඇතිවන වෙහෙස, අපේ සාමාන්‍ය වෙහෙසට වඩා "අසාමාන්‍යයි" කියල.
මෙන්න ඒ සාරාංශය,
1) හේතුව
සාමාන්‍ය වෙහෙස : කායික හෝ මානසික ක්‍රියාකාරකම්, මානසික ආතතිය හෝ සුව නින්දක් නොලැබීම නිසා
ෆයිබ්‍රො වෙහෙස : මධ්‍ය ස්නායු පද්ධතියේ සිදුවන අක්‍රමවත් ස්නායු ක්‍රියාකාරීත්වයක් නිසා
2) ආරම්භය
සාමාන්‍ය වෙහෙස : පෙර හඳුනාගත හැක ( ඒ කියන්නේ මහන්සිය ඇතිවන බව ඊට පෙර තේරුම් ගන්න පුළුවන්)
ෆයිබ්‍රො වෙහෙස : පෙර හඳුනාගත නොහැකි වීමට වැඩි ඉඩක් ඇත
3) විවේකයෙන් සහනයක් ලැබීම
සාමාන්‍ය වෙහෙස : විවේක ගැනීමෙන් හෝ නින්දෙන් සහනයක් ලැබේ (වෙහෙස අඩුවේ)
ෆයිබ්‍රො වෙහෙස : විවේක ගැනීම හෝ නින්දෙන් පෙර අවස්ථාවේ මෙන් අඩු නොවන අවස්ථාව වැඩිය.
4) වෙහෙසේ හේතුවට ඇති බැඳීම
සාමාන්‍ය වෙහෙස : කරන කටයුත්තේ ප්‍රමාණයට සාපේක්ෂය (වැඩි බරකදී, වැඩි වෙහෙසක් දැනේ)
ෆයිබ්‍රො වෙහෙස : එසේ නොවේ. (disproportionate to effort)
5) වෙහෙස පවතින කාළ සීමාව
සාමාන්‍ය වෙහෙස : තාවකාලිකයි, පැය කිහිපයක සිට දිනක් හෝ දෙකක් දක්වා විය හැක
ෆයිබ්‍රො වෙහෙස : දිගු කාළීනයි, සති කිහිපයක සිට, මාස ගණනාවක් දක්වා පැවතිය හැක.
6) මනසට බලපෑම
සාමාන්‍ය වෙහෙස : සමහර විට තීරණ ගැනීම තරමක් අපහසුවිය හැකි අවස්ථා මතුවිය හැක.
ෆයිබ්‍රො වෙහෙස : බෙහෝ විට fibro fog ලෙස නම් කරන, කෙටි අමතකවීම්, තීරණ ගැනීමට නොහැකිවීම් ඇතිවේ.
තවත් කරුණූ කාරණා ගණනාවක් එකතු කරන්නට තිබුණත්, මෙම තත්ත්වය ගැන මූලික හදුනාගැනීමක් කරන වැඩි පිරිසකට මේ ප්‍රමාණවත් කියල හිතනවා. විශේෂයෙන්ම, දිගු ලිපි කියවන්නට ඒ තරම් කැමැත්තක අප අතර නැති නිසා, අද , fibro fatigue ගැන කතාව මෙතැකින් නවත්වන්නේ, ඔබට ආරාධනයක් කරමින්.
මෙම ෆයිබ්‍රොමයැල්ජියා නම් තත්ත්වය එක් රටකට, එක් ජනවර්ගයකට සීමාවී නැහැ. මෙය ලොව පුරා ඕනෑම අයෙක්ට ඇතිවිය හැකි තත්ත්වයක්. කෙටියෙන්ම කිව්වොත්, සක්‍රිය ස්නායු පද්ධතියක් ඇති ඕනම මනුස්සයෙක්ට මතුවිය හැකි සෞඛ්‍යය ගැටළුවක්. එය සමහර විට ඔබ අප අතරේ ඉන්න අයෙක්ට, සමහර විට මේ කියවන තමන්ට වුනත් දැනටත් තිබෙන්නට පුළුවන්. ඒ නිසා, දැනුවත්වීම, යාවත්කාළීන වීම සහ තමන්ගේ සෞඛ්‍යය ගැටළුව ගැන, අවබෝධයක් සහිතව තම සෞඛ්‍යය කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්නට හැකියාවක් පවත්වා ගැනීමේ වැදගත්කම සඳහායි මේ ලිපි පෙළ එක් කරන්නේ.
ඒ නිසා ඔබෙන් කරන ආරාධනය මෙයයි.
මෙම ලිපි කියවන්න. මේ තොරතුරු ඔබේ මිතුරන් අතර බෙදාගන්න, ඒ ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ සත්කාර්යකට දායකවන්නට ඔබටත් පුළුවන්. ඒ අතරේම, මෙම තත්ත්වය හෝ සැක කළ හැකි අවස්ථාවන් සමඟ ජීවත්වන ඔබේ මිතුරන් වගේම මෙම තත්ත්වය ගැන දැනුවත්, සහ ප්‍රජාව දැනුවත් කරන්නට කැමති සෞඛ්‍යය වෘත්තිකයන් වේනම් ඔවුන්ද මෙම සමූහය වෙත එක් කරන්න.
තවත් ලිපියකින් නැවත හමුවෙමු.