Fibromyalgia තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් අත්විඳින තවත් අපහසුතාවයක් තමයි උදරාබාධ , එහෙම නැත්නම් විවිධාකාර බඩේ අමාරු. වරින්වර මතුවන මේ බඩේ අමාරු, විටෙක අජීරණ ලක්ෂණ පෙන්තවත්දි තවත් අවස්ථාවකදි දියරමය ලෙස මළපහ වීම තවත් අවස්ථාවක දින කිහිපයක් තුල මළපහ නොවීමේ ගැටළු , මළ පහ කළත් නොකළා වගේ දැනෙන තත්ත්වය, උදරයේ වේදනාව, ඔක්කාර හෝ වමනය වගේ ලොකු පරාසයක් පුරා විහිදෙනවා. Irritable Bowel Syndrome (IBS) ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වන මේ තත්ත්වය, Fibro සමඟ ජීවත්වන්නා තුල මතුවන දැඩි ආතතික තත්ත්ව වලදී උග්‍රවන සම්බන්ධතාවයත් හදුනාගන්නවා.
තවත් විදියකින් කිව්වොත් මේ Fibromyalgia සහ IBS කියන තත්ත්ව දෙක එකිනෙක අතර දැඩි සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ කියන්නේ කෙනෙකුට Fibro තියෙනවා නම් ඒ පුද්ගලයාට IBS ලක්ෂණ ඇතිවීමේ වැඩි ඉඩකුත්, යම් අයෙක් IBS තත්ත්වයෙන් පෙළෙනවා නම් ඒ කෙනාට Fibro තත්ත්වය තිබීමේ හෝ මතුවීමේ වැඩි ඉඩකුත් පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා. උදරය තුල ඉන්නා බැක්ටිරියා ගහණයේ සිදුවන වෙනස්වීම (dysbiosis) නිසා ඔවුන් ස්‍රාවය කරන සමහර ස්නායු සම්ප්‍රේෂක වන අසමතුලිතතා මේ වේදනාවන් වැඩිවීම සහ උදරාබාධ සඳහා විය හැකි හේතුවක් ලෙස දැනට හදුනාගන්නවා.
මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාගේ උදරාබාධ ඇති කරන හෝ වැඩි කරන ආහාර වර්ග හදුනාගෙන, ඒවා සීමා කිරීමත්, IBS සඳහා වෛද්‍ය අනුමැතිය මත ඖෂධ ලබා ගැනීමත්, පෝෂණවේදී උපදෙස් අනුව ගැලපෙන low FODMAP diet උපදෙස් අනුව සැලසුමක් මත උත්සාහ කිරීමත්, උදරය තුල පවතින බැක්ටීරියා අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා Probiotics සහිත ආහාර, පාන ලබා ගැනීමත් මෙම ගැටළුවට යම් සහනයක් ලබා ගැනීමට ගත හැකි උත්සාහයන් වෙනවා. මේ සියල්ල අතරේම මානසික ආතතිය පාලනය කරගැනීම සඳහා කටයුතු කිරීම ඉහළම තැනක පවතින්නේ, ෆයිබ්‍රොමයැල්ජියාවේ ලක්ෂණයක් මෙන්ම, පවතින වේදනාවන්, ඒ නිසා දවසේ හෝ රැකියාවේ කටයුතු කරගැනීමට නොහැකි වීම, තමන්ගේ රෝග තත්ත්වය පිටතට නොපෙනීම නිසා සමාජය තුලින් මතුවන පීඩාවන වැනි දේ තුල ඇතිවන මානසික ආතතිය මේ ෆයිබ්‍රො උදරාබාධ සඳහාද සෘජු දායකතවයක් දරන නිසාවෙනි.තවත් ලිපියකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment