Fibromyalgia Pain
තමන් හෝ තම ආදරණීය අයෙක් "ලෙඩවූ" විට පමණක්, ප්‍රජා සෞඛ්‍යය අධ්‍යාපනය ගැන විමසීමට පෙළඹෙන බහුතරයක් සිටින පරිසරයක, තවමත් ලංකාවේ සමාජය තුල එතරම් ප්‍රචලිත නැති, එසේත් නැත්නම් හඳුනා නොගත් නිසා විඳවමින් පවතින ෆයිබ්‍රොමයැල්ජියාව නම්, "අසාමාන්‍ය" තත්ත්වය ගැන කතා කරන්නට එක්වූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමින්, මෙම තත්ත්වයේ ප්‍රධානතම සහ අපහසුකාරීම ලක්ෂණය ගැන ටිකක් විස්තර කරන්නයි මේ ලිපිය කරන්නේ.
FMS වේදනාව
අපට ඇති වන හුඟක් සෞඛ්‍යය ගැටළු එහෙම නැත්නම් රෝග තත්ත්ව වලදි "වේදනාව"ක් විඳින්නට අපට සිදුවනවා. එය, හන්දිවල වේදනාවක්, ඔළුවේ කැක්කුමක්, උදර වේදනාවක් වගේ , යම් තැනක් පෙන්වන්නට පුළුවන් වේදනාවක් වුනත්, FMS වලදි එන වේදනාව මුළු ඇඟ පුරාම පැතිර තිබෙන වේදනාවක්. එහ, දේහයේ දෙපැත්තේම වගේම, ඉහළ සහ පහළ ලෙසත් , කොඳු ඇට පෙළ දිගේත් පැතිර තිබෙනවා. වරින්වර, අඩු වැඩි වන, උග්‍ර වේදනාව පවතින තැන් වෙනස් කරමින් , සුළු ස්පර්ශයකට, ඒ තබා ඇඳුමක් අඳින විට පවා වැඩි වන මේ වේදනාව මාස කිහිපයක සිට වසර ගණනාවක් දක්වා පවතින්නට පුළුවන්. බොහෝ රටවල මෙම තත්ත්වය පිළිබඳව රෝග විනිශ්චයක් දීමේදී, පෙර කී ආකාරයේ වේදනාව මාස තුනක් හෝ වැඩි කාළයක් පැවතීම ප්‍රධාන ලක්ෂණයක් ලෙස හදුනාගන්නවා.
දේහය ඇතුලට වන්නට ඇතිවන, නිරන්තරයෙන් පවතින වේදනාවක් ලෙස පොදුවේ මෙම වේදනාව මතුවුනත්, තවත් අවස්ථාවකදී, තියුණු තද වේදනාවක් හෝ, උල් ආයුධයකින් පේෂි වලට අනිනවා වැනි වේදනාවක් ලෙස වුනත් දැනෙන්නට පුළුවන්. උණ හෙම්බිරිසාව ඇති වූ විට දැනෙන "ඇඟ පත රුදාවක්" ලෙසත් තවත් අවස්ථාවක මේ FMS වේදනාව මතුවන්නට පුළුවන්.
පෙර කී ලෙසම සුළු ස්පර්ශයකින් මෙන්ම, හිතේ ඇතිවන කළබලයකදී, මානසික ආතතිමය තත්ත්වයකදී , සාමාන්‍ය වෙහෙසවීමක් නිසා මෙන්ම, සමහර අවස්ථා වලදී කාළගුණයේ සිදුවන වෙනස්වීම් නිසාවෙනුත් මේ වේදනාව මතුවීම හෝ/සහ උග්‍රවීම සිදුවන්නට පුළුවන්.
මේ තත්ත්වයේදී මතුවන වේදනා වර්ග කිහිපයක් ඔබේ අවධානයට.
- දේහය පුරා පැතිරුණූ පේෂි වේදනාව- දේහය පුරා පවතින හැම පේෂියකම වගේ මතුවන ගැඹුරු, තද වේදනාවක් මේ තත්ත්වයේදි ඇති වෙනවා. පේෂි , ඒ සමඟ බැඳී ඇති ඛන්ඩරා වගේ අනෙක් බන්ධණින් වලත් පොදුවේ ගත්තම ඇඟ පුරාම පවතින වේදනාවක්.
- හන්දිවල වේදනාව - විශේෂයෙන්ම උදේ කාළයේ, එහෙම නැත්නම් දිගු විවේකයකට පස්සේ මතුවන සන්ධි වල වේදනාවක් මෙහිදී මතුවන්නට පුළුවන්. මෙහි විශේෂිත ලක්ෂණයක් වන්නේ ඒ වේදනාව මතුවුනත්, අදාල සන්ධිය තුල කිසිදු අනතුරක් , සන්ධියේ පටක වලට හානියක් නොවී තිබීමයි.
- ඇලෝඩීනියා තත්ත්වය (Allodynia) - මේ කියන්නේ, වෙනදා වේදනාවක් ඇති නොකළ සිදුවීම් වලින් දැන් වේදනාවක් මතුවන බව. උදාහරණයක්, වෙනදාට ඇඳුමක් අඳිත්දි ඇඟට වේදනාවක් නොදැනුනත්, දැන් ෆයිබ්‍රෝ තත්ත්වයත් එක්ක, ඇඳුමක් ඇඟට දාගන්න එකත් වේදනාවක් හෝ වේදනාව වැඩිවීමක් වෙන්නට පුළුවන්. ඇඟට පොඩි ස්පර්ශයක් දැනුනාම ඒකම ඇති , දැඩි වේදනාවක් මතු කරන්නට.
- හයිපර්ඇල්ජීසියා (Hyperalgesia) තත්ත්වය - (hyper-වැඩි alges-වේදනා ia තත්ත්වය) මේ කියන්නේ ෆයිබ්‍රො තත්ත්වයත් සමඟ දැනෙන වේදනාව සාමාන්‍ය තත්ත්වයට වඩා අධික හෝ ඉහළ වේදනාවක් වීම. වෙනදට වැඩ කරත්දි අත පොඩිත්තක් මේසේ වැදුනට “පොඩි වේදනාවක්” දැනුනත්, අද මේ තත්ත්වය එක්ක, ඒ පොඩිත්තම වැදුනත්, භාෂා තුන හතරක් එකවතාවට කියවෙන තරම් අධික වේදනාවක් ලැබෙන්න හේතුව මේ හයිපර්ඇල්ජීසියාවයි.
- ස්නායුමය වේදනාව (Neuropathic) - ඉදිකටු තුඩකින් ඇනෙනවා වගේ, එහෙම නැත්නම් පිළිස්සෙනවා වගේ, තවත් අවස්ථාවක හිරිවැටෙන වගේ වේදනාවක් මෙහිදී අත්විඳින්නට වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අත්, පාද වල බහුලව මතුවන මේ වේදනාව තවත් රෝග ගණනාවකදි දකින්න පුළුවන් නිසා , සමහර අවස්ථා වලදි රෝග නිර්ණය කරගැනීමේදී අපහසුතාත් ඇති කරනවා.
- රිදුම් දෙන තැන් - දේහයේ සමහර තැන් උදාහරණයක්, වැළමිට, දණිස්ස, හිසේ පිටුපස බෙල්ල ප්‍රදේශය මෘදු තෙරපීමකට පවා වේදනාවක් මතු කරන විශේෂිත තැන් බවට පත් වෙනවා.
- හිස රුදාව හෝ මයිග්‍රේන් - මෙම තත්ත්වය සමඟ ජීවත්වන අය මුහුණදෙන ඊළඟ අපහසුකාරී තත්ත්වය තමයි වරින්වර මතුවන තද හිසේ වේදනාව, (Tension-type) මේ ඉරුවාරදය තත්ත්වයත් සමඟ පුද්ගලයාගේ මූඩ් එක වගේම සම්පුර්ණ හැසිරීමම වෙනස් කරවන්නට තරම් හේතු වෙනවා.
- කම්මුලේ වේදනාව - මෙය, ෆයිබ්‍රොමයැල්ජියාවේ විශේෂිත ලක්ෂණයක්. වෛද්‍ය විද්‍යාත්මකව TMJ pain කියල නම් කරන මෙය, කට අරින වහන විට කම්මුළේ ඉහළ, කණ ආශ්‍රිතව ඇතිවන තද වේදනාවක්. කෑම කන විට, යමක් හපන විට මතුවන “සන්ධිය පැනීමක්” වන දැනීම සහ හඩක් ඇසීමත් ඒ එක්කම කණ ආශ්‍රිතව වේදනාවක් මතුවීමත් මෙහිදී වෙන්නට පුළුවන්.
- උදරයේ වේදනා - නිතර බඩ පුරවා දැමීම, අජීරණය වැනි අපහසුතා, මළබද්ධය හෝ බඩබුරුලෙන් යාම වැනි අවස්ථා මාරුවෙන් මාරුවට සිදුවීම , උදරයේ ඇතිවන තද වේදනාවන් මේ තුලට ඇතුලත්.
- වේදනාවට සංවේදී බව වැඩිවීම - සාමාන්‍ය තත්ත්වයේ අයෙක්ට වඩා, මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්, අධික ශබ්දය , දීප්තිමත් ආලෝකය , උණුසුම වගේම සමහර විට සමහර ගඳ-සුවඳ පවා වේදනාව මතු කරන හේතුවක් වන්නට පුළුවන්.
එහෙම නම් අද ලිපිය තුල ලියාගෙන ගියේ ෆයිබ්‍රොමයැල්ජියාවේ ප්‍රධාන ලක්ෂණයක් වන වේදනාව මතුවිය හැකි ආකාරය, ඒවායේ ස්වභාවය ගැන කරුණූ කිහිපයක්.
ඉදිරි ලිපියකදි, මෙහි තවත් ලක්ෂණ කිහිපයක් ගැන කෙටියෙන් කතා කරමු.
No comments:
Post a Comment