Tuesday, October 7, 2025

7. ෆයිබ්‍රො හිසරදය

 ෆයිබ්‍රො තත්ත්වය සමඟ ජීවත්වන අයෙක් මුහුණදෙන ඊළඟ අපහසුකාරී අත්දැකීම තමයි ඉරුවාරදය, එහෙම නැත්නම් හිසරදය. සාමාන්‍යයෙන් මයිග්‍රේන් කියල කියන තත්ත්වයේ තද හිසේ කැක්කුමක් තමයි මෙහෙදි ඇතිවන්නේ. එක දිගට, එකම මට්ටමේ වේදනාවකට වඩා, රිද්මයානුකූල, අඩුවැඩිවීමක් සමඟ එන  මේ හිසේ වේදනාව තද, තියුණූ සහ ගැඹුරින් එන පීඩාකාරී හිසේරුදාවක් ලෙස මතුවීමටත්, එය වරින්වර මතුවීමත් තමයි හදුනාගන්න ලැබෙන්නේ. මේ වේදනාවේ මට්ටම, දරාගත හැකි දැනෙන වේදනාවක සිට, දරා ගැනීමට අපහසු, වෙනත් සුළු උත්‍තේජනයකින් (ශබ්දයකින්, එළියකින් ) පවා දරා ගත නොහැකි තරමට උග්‍රවන මට්ටමේ වේදනාවක් ලෙසද මතුවීමට ඉඩ තිබෙනවා. 


බොහෝ විට, හිසේ එක පැත්තකින්, ඇහේ කැක්කුමක් සමඟම එන මේ හිසේ වේදනාව ඇහේ පෙනීමට පවා යම් අපහසුතා ඇති කරන්න පුළුවන් වගේම, ‍මේ නිසා සමහර අවස්ථාවකදි කරමින් ඉන්න වැඩකටයුතු කරගන්න බැරි තරමට, එහෙමත් නැත්නම් කල්පනාව "නැතිවන තරම" පීඩාකාරී වන අවස්ථාත් ඇති වෙන්න පුළුවන්. ඒ එක්කම, වේදනාවේ උග්‍රබව නිසා ඔක්කාරය, වමනය වගේම උදරයේ අපහසුතාත් මේ තද, වේදනාකාරී හිසරදය සමඟ මතුවන්නට පුළුවන් අනෙක් ලක්ෂණ අතරේ තිබෙනවා. 

මෙම හිසරදය තත්ත්වයට පත්වන අවස්ථාවේ ඒ පුද්ගලයාග් බෙල්ල, උරහිස වගේ ප්‍රදේශ වල තද පේෂිමය වේදනාවක් මතුවීමත් බහුලව දකින්නට පුළුවන් නිසා, මෙම ෆයිබ්‍රො වේදනාවන් සහ ෆයිබ්‍රො හිසරදය එකිනෙකාට උදව් කරගනිමින්, අදාල පුද්ගලයාට පීඩා ඇති කරන බැඳීමක් ලෙසත් හදුනාගන්නවා. 

මේවගේ පීඩාකාරී හිසේරුදාවකට පත් වුනොත්, බොහෝ විට එය පාලනය කරගැනීම සඳහා ද්‍යෛවරයා විසින් නියම කරන වේදනානාශක ලබා ගැනීමට අවශ්‍ය වුවත්, කළබලකාරීබව, අධික ශබ්දයන්, බාධා කිරීම නැති කාමරයක , (තරමක් අඳුරු නම් වඩාත් පහසුවක් වේවි) විවේක ගැනීමත්, සීතල වතුරින් තෙත් කළ රෙදි කඩක් හෝ cold පැක් එකක් නළලට , බෙල්ලේ පිටුපසට තබා ගැනීමත් , මේ වේදනාව අඩු කරගැනීමට යම් උපකාරයක් වේවි.( හිසේරුදා‍වේ තත්ත්වය අනුව සමහර අවස්ථා වලදී, මෙලෙස සීතල තබනවා වෙනුවට heat pack එකක් උදව් කරගන්නත් පුළුවන්.) 

මේ විදියට සීතල හෝ උණුසුම් සහනයක් නළලට , බෙල්ලට ලබා දෙන අතරේ, මේ අඳුරු (හෝ තද ආලෝකය අඩු) කාමරය තුල ඇඳක හෝ සුව පහසු ආකරයකින් වැතිරී, ඇස් පියාගෙන් විනාඩි දහයක් , විස්සක් වි‍වේක ගන්න පුළුවන් නම් , එයම ලොකු සහනයක් ගේනවා. හොඳින් මතක තබා ගත යුතුම දේ, දේහයේ සජලන බව, ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙලා, යම් විජලන තත්ත්වයක් පවතී නම් මේ වේදනාව වැඩි කාළයක් පවතින්න පුළුවන්. ඒ නිසා, ‍මේ විවේකය ගන්න ඉස්සර වෙලා යම් පානයක්, ( මධ්‍යසාර නොවේ) ගෙනම විවේකයට ගියානම් තමයි වඩාත් සුවදායී වෙන්නේ.

කෙසේ වෙතත්, මේ උත්සාහයන් මගින්ම පමණක් වේදනාව අඩු නොවනවා නම්  වෛද්‍ය නියමය අනුව ගැලපෙන වේදනානාශකයක් ලබා ගැනීම පවතින පීඩාව වගේම, ඒ පීඩාව නිසා මානසිකව ඇති වන බලපෑමත් අඩු කරගන්නට පුළුවන්. 

තවත් ලිපියකින් නැවත හමුවෙමු. 

No comments:

Post a Comment

7. ෆයිබ්‍රො හිසරදය

  ෆයිබ්‍රො තත්ත්වය සමඟ ජීවත්වන අයෙක් මුහුණදෙන ඊළඟ අපහසුකාරී අත්දැකීම තමයි ඉරුවාරදය, එහෙම නැත්නම් හිසරදය. සාමාන්‍යයෙන් මයිග්‍රේන් කියල කියන ත...