Tuesday, September 30, 2025

6. ෆයිබ්‍රො මූඩ්ස්

ෆයිබ්‍රොමයැල්ජියා තත්ත්වයේදී හොඳින්ම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් තමයි, මෙම තත්ත්වය සමඟ  ජීවත්වන පුද්ගලයාගේ මූඩ්ස්, මනෝභාවයන් ඉතා ඉක්මණින් සහ වෙනත් අයෙකුට හදුනාගත හැකි හේතුවක් නොමැතිව පවා වෙනස්වීමකට ලක්වීම. 

මොහාතකදී, සාමාන්‍ය හෝ යහපත් මානසික තත්ත්වයකින්, මූඩ් එකකින් ඉන්න පුද්ගලයා තවත් සුළු මොහොතකදි ජිවිතය ගැන දැඩි කළකිරීමකට ලක්වුනු, අපෙක්ෂාභංගත්වයට පත්වුනු, දුකින් ඉන්න අයෙක් වෙන්න පුළුවන්. මේ නිසාම , මෙම වෙනස්වීම් හේතුවෙන්ම, අදාල පුද්ගලයා නිරන්තරයෙන් මානසික ආතතියකින්, කාංසා සහගත බවකින් කාළය ගත කරන අවස්ථා හදුනාගන්නට පුළුවන්. 

ඒ විතරක්ම නොවෙයි, මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා මේ හැඟීම් වලට දක්වන සංවේදී බව හුඟක් වැඩියි. ඒ කිව්වේ, සාමාන්‍යය කෙනෙක් දුකට පත් නොවන ටිකක් සංවේදී කතාබහකින් වුනත් මේකෙනා හුඟක් දුකට පත්වෙලා අඬන්නට පටන් ගන්නට පුළුවන්, ඒ විතරක් නොවෙයි තරහයාම්, ආවේගශීලී බවට පත්වීම වුනත්, ෆයිබ්‍රොමයැල්ජීයාව නැති අයෙක්ට වඩා ඉක්මණ් සහ හුඟක් සංවේදීයි. ඒ නිසා, සාමාන්‍ය අවස්ථාවෙදී කළබලයක්, තරහක් ඇති නොවන පුංචි කතාබහකට වුනත්, මේ අය හුඟක් තරහ ගිහින් කළබල කරන්න, එහෙම නැත්නම් අයින් වෙලා ඉන්න උත්සාහ කරන්නට පුළුවන්. 

හිතන්න, මේ පීඩාකාරී තත්ත්වයන් , ඒ එක්කම මෙම රෝග තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැතිකම, තමන්ගේ ආදරණීයයන් පවා තමන් විඳින වේදනාකාරී තත්ත්වය ගැන වටහා නොගැනීම (මොකද, බාහිරින් කිසිම ලෙඩක් නෑ වගේ නොවැ පේන්නේ) නිසා, ෆයිබ්‍රො සමඟ ජීවත්වන පුද්ගලයා පත් වන්නේ තවත් කාටවත් තේරුම් ගැනීමට පවා නොහැකි කායික, වගේම මානසික පීඩාකාරී අවස්ථාවකට. 

ඒ නිසාමයි ෆයිබ්‍රොමයැල්ජියාව ගැන නිසි දැනුමක් , අවබෝධයක් ඔබ, අප අතර පවත්වා ගත යුතු වන්නේ. එය සමහර විට ඔබට කරගන්නා උපකාරයක් වගේම, ඔබේ ආදරණීයයා වෙනුවෙන් කරන ‍යුතුකමක් වන්නටත් පුළුවන්.

තවත් ලිපියකින් හමුවෙමු.


Sunday, September 28, 2025

5. මතක අමතක කරවන Fibro fog

 ෆයිබ්‍රොමයැල්ජියාවේදී මතුවන තවත්, අපහසුකාරී ලක්ෂණයක් තමයි මේ "මතකය පිළිබඳ ගැටළු" එහෙම නැත්නම් ෆයිබ්‍රො ෆොග් කියන අවස්ථාව. සාමාන්‍යයෙන් මෙතැනදි වෙන්නේ අමතක වීම කියල කිව්වට , මේ අවස්ථාව තුල පුද්ගලයා මුහුණදෙන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් බහුලවම දැකිය හැකි ගැටළු කිහිපයක් කෙටියෙන් එකතු කරන්නේ, ෆයිබ්‍රො ගැන අවධානය යොමු කරන, සමහර විට දැන හෝ නොදැන ඒ තත්ත්වය සමඟ ජීවත්වන තවත් අයෙකු දැනුවත් කිරීම සඳහාම පමණයි.

ඒ අතර මෙන්න මේ තත්ත්වයන් හදුනාගන්නට පුළුවන්.

  1. ළඟ මතකය අඩුවීම - ඒ කිව්වේ අද ඊයේ කතාබහ කළ, එහෙම නැත්නම් දැනගත්, ඉගෙන ගත් දේ නැවත මතකයට ගැනීමට බාධා එන්න පුළුවන්. (සමහර වෙලාවට මෙන්න මේ අවස්ථාවත් එක්ක ඩිමෙන්ෂීයාවදෝ කියල බයකුත් එන්න බැරි නෑ)
  2. දෛනික කටයුතු තුල මතුවන අමතක වීම - දවසේ වැඩකටයුතු අතරේදී, විශේෂයෙන්ම කතාබහ ක‍ළදේ, දවසේ කළ යුතු වැඩරාජකාරි , හමුවීම් , ඒවා සඳහා වෙන් කරගත් වෙලාවන් වැනිදේ අමතක වීම.
  3. කාර්ය බහුල වීම තුල සිදුවන අමතකවීම- කටයුතු කිහිපයක් එකවර කිරීමට තිබූ හැකියාව අඩුවී, එක් කාර්යයක් කරන විට සැලසුම් කර තිබූ, හෝ ඒ සමඟ කළ යුතු අනෙක් කටයුතු අමතකවීම, ඒවායේ පියවරයන් පටලැවීම හෝ විශේෂයෙන්ම යමක් කරත්දි මුහුණදෙන සාමාන්‍ය බාධා කිරීම්, හිත වෙනතකට යාම් වලදී අදාල කටයුත්ත කිරීමට ඇති අපහසුකම.
  4. වචන අමතක වීම - එදිනෙදා සාමාන්‍ය කතාබහේදී භාවිත වන වචන පවා අමතක වන, දන්නා හදුනන තැන්, පුද්ගලයන්ගේ නම් පවා වරින්වර අමතක වන, ඒ අමතක වීම් නිසා මතුවන අපහසුතාවයන් නිසා කතාබහ අඩුකිරීම, හමුවීම් වලින් වෙන්වීමට පවා හේතුවන තත්ත්වය
  5. අදහස් පටලැවීම - කතාකරමින්, කරමින් හෝ හිතමින් තිබූ අදහස් වල පිළිවෙල බිඳීයාම, ඒ නිසාම පටලැවීමට ලක්වීම, කරමින් සිටියේ කුමක්දෝ යන්න ගැන නැවත නැවතත් "කල්පනාකරන්නට" වීම වැනි අවස්ථා මේ තුල අත්විඳින්නට වෙන්නට පුළුවන්.

මෙහෙම වෙන්නට ඇති හේතු ගණනාවක් අතරේ අද වෙත්දි හදුනාගෙන ඇති හේතු ලෙස,

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වන ස්නායු පද්ධතියේ ඇතිවන "අති සංවේදී" බව

සුවදායී නින්දක් නොලැබීමේ බලපෑම,

මෙම අපහසුතා නිසාම, කතාබහ, හමුවීම් වලින් වෙන්වී සිටීමට උත්සාහයම අදාල විය හැකි බව සඳහන් වෙනවා.

පෙර ලිපි වල කීවා සේම, මෙම ෆයිබ්‍රොමයැල්ජියා තත්ත්වයට, සම්පුර්ණ සුවය ලබා දීමක් කරන්නට ප්‍රතිකාර තවමත් නොමැති නිසා, මෙම ෆයිබ්‍රො ෆොග් තත්ත්වයටත් සම්පුර්ණ සුවයක් අපේක්ෂා නොකළත්, තත්ත්වය සමඟ එන වේදනාව පාලනය කිරීම, සුවදායී නින්දක උදව් ලබා ගැනීම වගේ, අනෙක් ලක්ෂණ පාලනය කරගැනීම තුල මේ මතක , අමතක කරවන අපහසුතාවයත් සීමා කරගන්නට පුළුවන් වෙනවා.

අදට මෙපමණි, තවත් ලිපියකින් නැවත හමුවෙමු.

4. "සුව" නැති නින්ද Non-restorative sleep

ෆයිබ්‍රොමයැල්ජියාවේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ "සුව" නැති නින්ද. තවත් විදියකින් කෙටියෙන් කිව්වොත් නිදාගත්තත්, එහි ලැබිය යුතු "සුවදායීබව" නොලැබීම. දැන් මේකෙන් කියන්නේ, ෆයිබ්‍රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙකුට නිදාගන්න බැහැ කියන එකනම් නොවෙයි. මේ අයට දවස පුරාම වුනත් නිදාගන්න පුළුවන්. නමුත්, කොයිතරම් වෙලාවක් නිදාගත්තත්, අවදි වෙත්දි නිදා‍ නොගත්තා වැනි හැඟීමක් හෝ නින්දේ ලැබිය යුතු සැහැල්ලුව නොලැබීමයි ප්‍රධාන ලක්ෂණය වන්නේ.

අද ලිපිය තුල කෙටියෙන් කතා කරන්නේ අන්න ඒ, "සුව නැති නින්ද" ගැනයි. එහි හදුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් මේ,

1) ප්‍රමාණවත් පැය ගණනක් "නිදාගත්තත්" , නින්දෙන් අවදිවන විය ලැබිය යුතු ප්‍රබෝධමත් බව නැතිවීම

2) නිදාගන්නා කාළය තුල වැඩි වාර ගණනක් නින්දෙන් අවදිවීම සිදුවිම

3) නින්ද තුල ලැබිය යුතු "ගැඹූරු නින්ද"ට වඩා, නිදි-අවදි ස්වභාවියේ තත්ත්වයක වැඩි වෙලාවක් ගත වීම

4) ඇඳට ගියත්, නින්දට ඇතුළු වීමට වැඩි වෙලාවක් ගත වීම

5) කොයිතරම් වෙලාවක් "නිදාගත්තද" , අවදි වූ පසු දවසපුරා වෙහෙසකර බවක් දැනීම

6) නින්දේදී සිදුවන Restless legs (පාළනයකින් තොරව , වරින්වර පාදය ගැස්සීමට ලක්වීම ) නිසා නින්දට පත්වීම මෙන්ම, නින්දේ රැදී සිටීමට අපහසුවීම

මේ ලියාගෙන ගියේ, ෆයිබ්‍රො තත්ත්වයේදී ඇතිවන සුව නැති නින්දේ ලක්ෂණ කිහිපයක්. මේ වගේ නිදි ලක්ෂණ එක්ක, කාළීනව පවත්නා වේදනාව වැනි ලක්ෂණ කෙනෙක්ට ඇත්නම් එම තත්ත්වය විවිධ හේතු හිතමින් නොසලකා නොහැර , සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම හරිම වැදගත්. මේ ලක්ෂණ තිබූ පමණින්ම එය Fibromyalgia යැයි ස්ථීරව තහවුරු නොකළ හැකි වුවත්, මෙම තත්ත්වය ගැනද දැනුවත්ව ප්‍රතිකාර වෙත යොමු වීම ඔබට වාසියක් සහ සුවයක් එක් කරාවි.

තවත් ලිපියකින් නැවත හමුවෙමු.

3. වෙනස් වෙහෙස.Fibro Fatigue

ෆයිබ්‍රොමයැල්ජියාවේදී , අදාල පුද්ගලයා මුහුණදෙන ප්‍රධානම ගැටළුවක් වන "වේදනාව" ගැන අප මේ වෙත්දි කතා කර අවසන්. මාස තුනකට වඩා පවතින මේ "අසාමාන්‍ය සහ හේතුවක් හදුනාගත නොහැකි" හොල්මන් වේදනාවට පසු, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාට විඳින්නට සිදුවන වඩාත් අපහසුකාරී තත්ත්වය වන්නේ මේ "වෙහෙසයි fibro fatigue".

"වෙහෙස" ගැන කියන්නත් තරම් දෙයක්දැයි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් වුනත්, මෙම තත්ත්වයේදී එන වෙහෙස, නිරෝගී හෝ වෙනත් සෞඛ්‍යය තත්ත්වයක් මත සිටින්නෙකුට දවසේ දැනෙන වෙහෙසට වඩා වෙනස්කම් කිහිපයක් තිබෙනවා. උදාහරණයක් අපි ඕනම කෙනෙක්ට යම් වැඩක් කළාම වෙහෙසක් දැනෙනවා. නමුත්, ඒ වැඩ කටයුතු නවත්වා , "විවේක" ගත්තාම ආයෙත් සාමාන්‍ය ශාරීරික ශක්තිය, හැකියාව එන මට්ටමට හෝ ආසන්න තත්ත්වයක වෙහෙස නිවීමක් වෙනවා. ඒ නිසානේ අප ඕනම වැඩක් කරත්දි වරින්වර "විවේක ගන්නේ". නමුත් ෆයිබ්‍රො වලදි මතුවන වෙහෙස පහසුවෙන් අඩු නොවන, ඒ වගේම කායිකව විතරක් නොවේ, මනසට පවා බලපාන වෙහෙසක්.

අනෙක් වෙනස තමයි , සාමාන්‍ය "නිරෝගී වෙහෙස" , අප කරන කටයුත්තේ බරට අනුලෝමය සමානුපාතයිනේ. උදාහරණයක් විදියට, ලොකු බරක් ඉස්සුවොත් වැඩි මහන්සියක් දැනේවි, නැත්නම් දිගු වෙලාවක් වැඩ කළොත් තමයි වැඩි මහන්සියක් දැනෙන්න පටන් ගන්නේ. නමුත්, ෆයිබ්‍රො වලදි එහෙම කරන වැඩේ දිග පළල, බර වගේ සාධක සෘජුව අදාල වෙන්නේ නෑ. පොඩි වැඩක් කළත් ලොකු වෙහෙසක් ඇති වෙන්න පුළුවන්.

තව අසාමාන්‍ය වෙනසක් මේ ඒ තමයි මොන වෙලාවෙ ඇති වේදැයි විශ්වාස කළ නොහැකි බව. උදාහරණයක්, සාමාන්‍ය තත්ත්වයේ ඉන්න අප දන්නවා, අපට වෙහෙසක් ඇති විය හැකි අවස්ථා. ගේ දොර අස්පස් කරපු වෙලාවට, රැකියාවේ ලොකු වගකීමක් සහිත ව්‍යාපෘතියක කටයුතු කරත්දි, ටිකක් වේගෙන් ඇවිදගෙන යත්දි ...ඔය විදියට අපට මහන්සිය දැනෙන හෝ දැනිය හැකි අවස්ථාව ගැන අපට පෙර අදහසක් තියා ගන්න පුළුවන්නේ. නමුත් fibro fatigue වලදි ඒ කියන්නේ ෆයිබ්‍රොමයැල්ජියාවේදි එන වෙහෙස එහෙම පෙර හදුනාගැනීමක් කරන්න, අනාවැකි කියන්න අපහසුයි, මොන වෙලාවෙ ඇතිවේද කියල හිතා ගන්න බැරි, හුඟක් වෙලාවට ඒ වෙහෙස ඇතිවීමට හේතුවක් පවා වටහා ගන්නට බැරි විශේෂ වෙහෙසක්.

දිග ලිපියක් විදියට ලියනවාට වඩා මේ කියන කරුණූ ටික කෙටියෙන් මෙන්න මේ විදියට එකතු කරන්නම්. මොකද දැන් අදහසක් තියෙනවානේ fibro fatigue වලදි ඇතිවන වෙහෙස, අපේ සාමාන්‍ය වෙහෙසට වඩා "අසාමාන්‍යයි" කියල.

මෙන්න ඒ සාරාංශය,

1) හේතුව

සාමාන්‍ය වෙහෙස : කායික හෝ මානසික ක්‍රියාකාරකම්, මානසික ආතතිය හෝ සුව නින්දක් නොලැබීම නිසා

ෆයිබ්‍රො වෙහෙස : මධ්‍ය ස්නායු පද්ධතියේ සිදුවන අක්‍රමවත් ස්නායු ක්‍රියාකාරීත්වයක් නිසා

2) ආරම්භය

සාමාන්‍ය වෙහෙස : පෙර හඳුනාගත හැක ( ඒ කියන්නේ මහන්සිය ඇතිවන බව ‍ඊට පෙර තේරුම් ගන්න පුළුවන්)

ෆයිබ්‍රො වෙහෙස : පෙර හඳුනාගත නොහැකි වීමට වැඩි ඉඩක් ඇත

3) විවේකයෙන් සහනයක් ලැබීම

සාමාන්‍ය වෙහෙස : විවේක ගැනීමෙන් හෝ නින්දෙන් සහනයක් ලැබේ (වෙහෙස අඩුවේ)

ෆයිබ්‍රො වෙහෙස : විවේක ගැනීම හෝ නින්දෙන් පෙර අවස්ථාවේ මෙන් අඩු ‍නොවන අවස්ථාව වැඩිය.

4) වෙහෙසේ හේතුවට ඇති බැඳීම

සාමාන්‍ය වෙහෙස : කරන කටයුත්තේ ප්‍රමාණයට සාපේක්ෂය (වැඩි බරකදී, වැඩි වෙහෙසක් දැනේ)

ෆයිබ්‍රො වෙහෙස : එසේ නොවේ. (disproportionate to effort)

5) වෙහෙස පවතින කාළ සීමාව

සාමාන්‍ය වෙහෙස : තාවකාලිකයි, පැය කිහිපයක සිට දිනක් හෝ දෙකක් දක්වා විය හැක

ෆයිබ්‍රො වෙහෙස : දිගු කාළීනයි, සති කිහිපයක සිට, මාස ගණනාවක් දක්වා පැවතිය හැක.

6) මනසට බලපෑම

සාමාන්‍ය වෙහෙස : සමහර විට තීරණ ගැනීම තරමක් අපහසුවිය හැකි අවස්ථා මතුවිය හැක.

ෆයිබ්‍රො වෙහෙස : බෙහෝ විට fibro fog ලෙස නම් කරන, කෙටි අමතකවීම්, තීරණ ගැනීමට නොහැකිවීම් ඇතිවේ.

තවත් කරුණූ කාරණා ගණනාවක් එකතු කරන්නට තිබුණත්, මෙම තත්ත්වය ගැන මූලික හදුනාගැනීමක් කරන වැඩි පිරිසකට මේ ප්‍රමාණවත් කියල හිතනවා. විශේෂයෙන්ම, දිගු ලිපි කියවන්නට ඒ තරම් කැමැත්තක අප අතර නැති නිසා, අද , fibro fatigue ගැන කතාව මෙතැකින් නවත්වන්නේ, ඔබට ආරාධනයක් කරමින්.

මෙම ෆයිබ්‍රොමයැල්ජියා නම් තත්ත්වය එක් රටකට, එක් ජනවර්ගයකට සීමාවී නැහැ. මෙය ලොව පුරා ඕනෑම අයෙක්ට ඇතිවිය හැකි තත්ත්වයක්. කෙටියෙන්ම කිව්වොත්, සක්‍රිය ස්නායු පද්ධතියක් ඇති ඕනම මනුස්සයෙක්ට මතුවිය හැකි සෞඛ්‍යය ගැටළුවක්. එය සමහර විට ඔබ අප අතරේ ඉන්න අයෙක්ට, සමහර විට මේ කියවන තමන්ට වුනත් දැනටත් තිබෙන්නට පුළුවන්. ඒ නිසා, දැනුවත්වීම, යාවත්කාළීන වීම සහ තමන්ගේ සෞඛ්‍යය ගැටළුව ගැන, අවබෝධයක් සහිතව තම සෞඛ්‍යය කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්නට හැකියාවක් පවත්වා ගැනීමේ වැදගත්කම සඳහායි මේ ලිපි පෙළ එක් කරන්නේ.

ඒ නිසා ඔබෙන් කරන ආරාධනය මෙයයි.

මෙම ලිපි කියවන්න. මේ තොරතුරු ඔබේ මිතුරන් අතර බෙදාගන්න, ඒ ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ සත්කාර්යකට දායකවන්නට ඔබටත් පුළුවන්. ඒ අතරේම, මෙම තත්ත්වය හෝ සැක කළ හැකි අවස්ථාවන් සමඟ ජීවත්වන ඔබේ මිතුරන් වගේම මෙම තත්ත්වය ගැන දැනුවත්, සහ ප්‍රජාව දැනුවත් කරන්නට කැමති සෞඛ්‍යය වෘත්තිකයන් වේනම් ඔවුන්ද මෙම සමූහය වෙත එක් කරන්න.

තවත් ලිපියකින් නැවත හමුවෙමු.

2. ෆයිබ්‍රො වේදනාව

 Fibromyalgia Pain 

තමන් හෝ තම ආදරණීය අයෙක් "ලෙඩවූ" විට පමණක්, ප්‍රජා සෞඛ්‍යය අධ්‍යාපනය ගැන විමසීමට පෙළඹෙන බහුතරයක් සිටින පරිසරයක, තවමත් ලංකාවේ සමාජය තුල එතරම් ප්‍රචලිත නැති, ‍එසේත් නැත්නම් හඳුනා නොගත් නිසා විඳවමින් පවතින ෆයිබ්‍රොමයැල්ජියාව නම්, "අසාමාන්‍ය" තත්ත්වය ගැන කතා කරන්නට එක්වූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමින්, මෙම තත්ත්වයේ ප්‍රධානතම සහ අපහසුකාරීම ලක්ෂණය ගැන ටිකක් විස්තර කරන්නයි මේ ලිපිය කරන්නේ.

FMS ‍වේදනාව

අපට ඇති වන හුඟක් සෞඛ්‍යය ගැටළු එහෙම නැත්නම් රෝග තත්ත්ව වලදි "වේදනාව"ක් විඳින්නට අපට සිදුවනවා. එය, හන්දිවල වේදනාවක්, ඔළුවේ කැක්කුමක්, උදර වේදනාවක් වගේ , යම් තැනක් පෙන්වන්නට පුළුවන් වේදනාවක් වුනත්, FMS වලදි එන වේදනාව මුළු ඇඟ පුරාම පැතිර තිබෙන වේදනාවක්. එහ, දේහයේ දෙපැත්තේම වගේම, ඉහළ සහ පහළ ලෙසත් , කොඳු ඇට පෙළ දිගේත් පැතිර තිබෙනවා. වරින්වර, අඩු වැඩි ‍වන, උග්‍ර වේදනාව පවතින තැන් වෙනස් කරමින් , සුළු ස්පර්ශයකට, ඒ තබා ඇඳුමක් අඳින විට පවා වැඩි වන මේ වේදනාව මාස කිහිපයක සිට වසර ගණනාවක් දක්වා පවතින්නට පුළුවන්. බොහෝ රටවල මෙම තත්ත්වය පිළිබඳව රෝග විනිශ්චයක් දීමේදී, පෙර කී ආකාරයේ වේදනාව මාස තුනක් හෝ වැඩි කාළයක් පැවතීම ප්‍රධාන ලක්ෂණයක් ලෙස හදුනාගන්නවා.

දේහය ඇතුලට වන්නට ඇතිවන, නිරන්තරයෙන් පවතින වේදනාවක් ලෙස පොදුවේ මෙම වේදනාව මතුවුනත්, තවත් අවස්ථාවකදී, තියුණු තද වේදනාවක් හෝ, උල් ආයුධයකින් පේෂි වලට අනිනවා වැනි වේදනාවක් ලෙස වුනත් දැනෙන්නට පුළුවන්. උණ හෙම්බිරිසාව ඇති වූ විට දැනෙන "ඇඟ පත රුදාවක්" ලෙසත් තවත් අවස්ථාවක මේ FMS වේදනාව මතුවන්නට පුළුවන්.

පෙර කී ලෙසම සුළු ස්පර්ශයකින් මෙන්ම, හිතේ ඇතිවන කළබලයකදී, මානසික ආතතිමය තත්ත්වයකදී , සාමාන්‍ය වෙහෙසවීමක් නිසා මෙන්ම, සමහර අවස්ථා වලදී කාළගුණයේ සිදුවන වෙනස්වීම් නිසාවෙනුත් මේ වේදනාව මතුවීම හෝ/සහ උග්‍රවීම සිදුවන්නට පුළුවන්.

මේ තත්ත්වයේදී මතුවන වේදනා වර්ග කිහිපයක් ඔබේ අවධානයට.

  • දේහය පුරා පැතිරුණූ පේෂි වේදනාව- දේහය පුරා පවතින හැම පේෂියකම වගේ මතුවන ගැඹුරු, තද වේදනාවක් මේ තත්ත්වයේදි ඇති වෙනවා. පේෂි , ඒ සමඟ බැඳී ඇති ඛන්ඩරා වගේ අනෙක් බන්ධණින් වලත් පොදුවේ ගත්තම ඇඟ පුරාම පවතින වේදනාවක්.
  • හන්දිවල වේදනාව - විශේෂයෙන්ම උදේ කාළයේ, එහෙම නැත්නම් දිගු විවේකයකට පස්සේ මතුවන සන්ධි වල වේදනාවක් මෙහිදී මතුවන්නට පුළුවන්. මෙහි විශේෂිත ලක්ෂණයක් වන්නේ ඒ වේදනාව මතුවුනත්, අදාල සන්ධිය තුල කිසිදු අනතුරක් , සන්ධියේ පටක වලට හානියක් නොවී තිබීමයි.
  • ඇලෝඩීනියා තත්ත්වය (Allodynia) - මේ කියන්නේ, වෙනදා වේදනාවක් ඇති ‍නොකළ සිදුවීම් වලින් දැන් වේදනාවක් මතුවන බව. උදාහරණයක්, වෙනදාට ඇඳුමක් අඳිත්දි ඇඟට වේදනාවක් නොදැනුනත්, දැන් ෆයි‍බ්‍රෝ තත්ත්වයත් එක්ක, ඇඳුමක් ඇඟට දාගන්න එකත් වේදනාවක් හෝ වේදනාව වැඩිවීමක් වෙන්නට පුළුවන්. ඇඟට පොඩි ස්පර්ශයක් දැනුනාම ඒකම ඇති , දැඩි වේදනාවක් මතු කරන්නට.
  • හයිපර්ඇල්ජීසියා (Hyperalgesia) තත්ත්වය - (hyper-වැඩි alges-වේදනා ia තත්ත්වය) මේ කියන්නේ ෆයිබ්‍රො තත්ත්වයත් සමඟ දැනෙන වේදනාව සාමාන්‍ය තත්ත්වයට වඩා අධික හෝ ඉහළ වේදනාවක් වීම. වෙනදට වැඩ කරත්දි අත ‍පොඩිත්තක් මේසේ වැදුනට “පොඩි වේදනාවක්” දැනුනත්, අද මේ තත්ත්වය එක්ක, ඒ පොඩිත්තම වැදුනත්, භාෂා තුන හතරක් එකවතාවට කියවෙන තරම් අධික වේදනාවක් ලැබෙන්න හේතුව මේ හයිපර්ඇල්ජීසියාවයි.
  • ස්නායුමය වේදනාව (Neuropathic) - ඉදිකටු තුඩකින් ඇනෙනවා වගේ, එහෙම නැත්නම් පිළිස්සෙනවා වගේ, තවත් අවස්ථාවක හිරිවැටෙන වගේ වේදනාවක් මෙහිදී අත්විඳින්නට වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අත්, පාද වල බහුලව මතුවන මේ වේදනාව තවත් රෝග ගණනාවකදි දකින්න පුළුවන් නිසා , සමහර අවස්ථා වලදි රෝග නිර්ණය කරගැනීමේදී අපහසුතාත් ඇති කරනවා.
  • රිදුම් දෙන තැන් - දේහයේ සමහර තැන් උදාහරණයක්, වැළමිට, දණිස්ස, හිසේ පිටුපස බෙල්ල ප්‍රදේශය මෘදු තෙරපීමකට පවා වේදනාවක් මතු කරන විශේෂිත තැන් බවට පත් වෙනවා.
  • හිස රුදාව හෝ මයිග්‍රේන් - මෙම තත්ත්වය සමඟ ජීවත්වන අය මුහුණදෙන ඊළඟ අපහසුකාරී තත්ත්වය තමයි වරින්වර මතුවන තද හිසේ වේදනාව, (Tension-type) මේ ඉරුවාරදය තත්ත්වයත් සමඟ පුද්ගලයාගේ මූඩ් එක වගේම සම්පුර්ණ හැසිරීමම වෙනස් කරවන්නට තරම් හේතු වෙනවා.
  • කම්මුලේ වේදනාව - මෙය, ෆයිබ්‍රොමයැල්ජියාවේ විශේෂිත ලක්ෂණයක්. වෛද්‍ය විද්‍යාත්මකව TMJ pain කියල නම් කරන මෙය, කට අරින වහන විට කම්මුළේ ඉහළ, කණ ආශ්‍රිතව ඇතිවන තද වේදනාවක්. කෑම කන විට, යමක් හපන විට මතුවන “සන්ධිය පැනීමක්” වන දැනීම සහ හඩක් ඇසීමත් ඒ එක්කම කණ ආශ්‍රිතව වේදනාවක් මතුවීමත් මෙහිදී වෙන්නට පුළුවන්.
  • උදරයේ වේදනා - නිතර බඩ පුරවා දැමීම, අජීරණය වැනි අපහසුතා, මළබද්ධය හෝ බඩබුරුලෙන් යාම වැනි අවස්ථා මාරුවෙන් මාරුවට සිදුවීම , උදරයේ ඇතිවන තද වේදනාවන් මේ තුලට ඇතුලත්.
  • වේදනාවට සංවේදී බව වැඩිවීම - සාමාන්‍ය තත්ත්වයේ අයෙක්ට වඩා, මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්, අධික ශබ්දය , දීප්තිමත් ආලෝකය , උණුසුම වගේම සමහර විට සමහර ගඳ-සුවඳ පවා වේදනාව මතු කරන හේතුවක් වන්නට පුළුවන්.

එහෙම නම් අද ලිපිය තුල ලියාගෙන ගියේ ෆයිබ්‍රොමයැල්ජියාවේ ප්‍රධාන ලක්ෂණයක් වන වේදනාව මතුවිය හැකි ආකාරය, ඒවායේ ස්වභාවය ගැන කරුණූ කිහිපයක්.

ඉදිරි ලිපියකදි, මෙහි තවත් ලක්ෂණ කිහිපයක් ගැන කෙටියෙන් කතා කරමු.

1. Fibromyalgia ගැන කෙටි‍ හදුන්වාදීමක්.

මෙතැන් සිට FM (Fibromyalgia) හෝ FMS(Fibromyalgia Syndrome) ලෙස හදුන්වා දෙන, මෙම කාළීන සෞඛ්‍යය ගැටළුව වෛද්‍ය විද්‍යාව ඉහළ දියුණුවක පවතින අද දවසේත් අභියෝග ගණනාවක් මතු කරන තත්ත්වයකි. එය හුදෙක් , වේදනාව පමණක් නොව, මෙම ලක්ෂණ වෙනස්වන ස්වභාවය, තවත් සෞඛ්‍යය ගැටළු වලදී මතුවන ලක්ෂණ මතුවීම, ඊටත් වඩා මෙම තත්ත්වය යැයි 100%ක් තහවුරු කළ හැකි රෝග නිර්ණය පරික්ෂණයක් නොමැතිවීම වැනි කරුණූ නිසා, විටෙක "බොරු ලෙඩක්" එසේත් නැත්නම්, "හිතේ ලෙඩක්" හෝ තවත් අවස්ථාවක වෙනත් රෝගයක් යැයි සමාජය මෙන්ම සෞඛ්‍යය වෘත්තිකයන්ද හඳුනාගන්නා තත්ත්වයක් වීම ඊට ප්‍රධානම හේතුවේ.

එම ගැටළු මෙන්ම රෝග ලක්ෂණ සහ ඒ සමඟ පුද්ගලයා මුහුණදෙන අනෙක් අභියෝග ගැනත් පසුව වැඩි විස්තර සහිතව කතා කරන්නට තබා, දැනට මේ රෝග තත්ත්වයේ පොදු ලක්ෂණ කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ, තනිව රෝග විනිශ්චය කරගැනීමට ‍උනන්දු කිරීමට නොව, මෙම ලක්ෂණ ඇත්නම්, එය වෙනත් හේතුවක් මත සඟවා දමා විඳවන්නේ නැතිව, සුදුසුකම් සහිත සෞඛ්‍යය වෘත්තිකයෙක් හමුවී, තමන්ට ඇත්තේ FMS තත්ත්වයද , එසේ නොවේද යන්න තහවුරු කරගෙන නිසි ප්‍රතිකාර සහ චිකිත්සාවන් ඔස්සේ වඩාත් සුවදායී ජීවිතයක් ලබා ගැනීමට පෙළඹවීමටයි.

මේ තමයි FM වල පොදු රෝග ලක්ෂණ

  1. වේදනාව - දේහය පුරා පැතිර පවතින , කාළයක් තිස්සේ (මාස තුනකට වඩා) පවතී
  2. වෙහෙස- විවේක ගැනීමකින් පවා අඩු නොවන වෙහෙසටපත් බව
  3. නිදි ගැටළු - නින්දට යාම පමාවීම, සුවදායී නින්දක් නොලැබීම, වරින්වර නින්දෙන් අවදිවීම
  4. මතකයේ ගැටළු - අවධානය පවත්වා ගැනීමේ අපහසුව, මතකයේ හිදැස් (brain fog) ඇති වීම
  5. මනෝභාවයන් අසාමාන්‍ය ලෙස වෙනස්වීම - දුක්බර, කළබලකාරී හෝ ආතතියෙන් සිටීම
  6. හිසේ වේදනාවන් - මයිග්‍රේන් හෝ තද හිසේ කැක්කුම් වලට ලක්වීම
  7. උදරය ආශ්‍රිත ගැටළු - බඩේ වේදනාව, පුරවාදැමූ ස්වභාවය, වරින්වර බඩ බුරුලින් යාම හෝ මළබද්ධයේ ලක්ෂණ දැනීම
  8. කම්මුලේ කැක්කුම - හකු ආශ්‍රිත වේදනාව
  9. අත්-පා ඇඟිලි වල ඇතිවන වේදනාව , හිරි වැටුනු ස්වභාවය
  10. වේදනාව වැඩිවීම - ස්පර්ශය හෝ තද කිරීම තුල දැනෙන වේදනාව ඉහළ යාම
  11. කාන්තාවකට ආර්තවය ආශ්‍රිත ගැටළු
  12. ලිංගික එක්වීම තුල අධික‍ වේදනාවට ලක්වීම

මේ ලක්ෂණ ඇත්නම්, ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර, තත්ත්වය Fibromyalgia ද නොවේද යන්න තහවුරු කරගන්න උත්සාහ කරන්න. මෙය ප්‍රතිකාර මත ඉතාමත් හොඳින් පාළනය කර , ආසන්න ලෙස සාමාන්‍ය ජීවන රටාවට පත් විය හැකි , නමුත් නොසලකාහැරීම තුල වැඩි අවදානම් අවස්ථා වලට පත්විය හැකි තත්ත්වයකි.

තවත් තොරතුරු වගේම නවතම ප්‍රතිකාර සහ චිකිත්සීය තොරතුරු ඉදිරි ලිපි ඔස්සේ. ඒ අතරේ, ඔබේ අදහස්, අත්දැකීම් බෙදා ගැනීමටත් මේ සමූහය විවෘත බව මතක් කරනවා.

6. ෆයිබ්‍රො මූඩ්ස්

ෆයිබ්‍රොමයැල්ජියා තත්ත්වයේදී හොඳින්ම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් තමයි, මෙම තත්ත්වය සමඟ  ජීවත්වන පුද්ගලයාගේ මූඩ්ස්, මනෝභාවයන් ඉතා ඉක්මණින් සහ ...