ෆයිබ්‍රොමයැල්ජියාවේදී මතුවන තවත්, අපහසුකාරී ලක්ෂණයක් තමයි මේ "මතකය පිළිබඳ ගැටළු" එහෙම නැත්නම් ෆයිබ්‍රො ෆොග් කියන අවස්ථාව. සාමාන්‍යයෙන් මෙතැනදි වෙන්නේ අමතක වීම කියල කිව්වට , මේ අවස්ථාව තුල පුද්ගලයා මුහුණදෙන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් බහුලවම දැකිය හැකි ගැටළු කිහිපයක් කෙටියෙන් එකතු කරන්නේ, ෆයිබ්‍රො ගැන අවධානය යොමු කරන, සමහර විට දැන හෝ නොදැන ඒ තත්ත්වය සමඟ ජීවත්වන තවත් අයෙකු දැනුවත් කිරීම සඳහාම පමණයි.
ඒ අතර මෙන්න මේ තත්ත්වයන් හදුනාගන්නට පුළුවන්.
- ළඟ මතකය අඩුවීම - ඒ කිව්වේ අද ඊයේ කතාබහ කළ, එහෙම නැත්නම් දැනගත්, ඉගෙන ගත් දේ නැවත මතකයට ගැනීමට බාධා එන්න පුළුවන්. (සමහර වෙලාවට මෙන්න මේ අවස්ථාවත් එක්ක ඩිමෙන්ෂීයාවදෝ කියල බයකුත් එන්න බැරි නෑ)
- දෛනික කටයුතු තුල මතුවන අමතක වීම - දවසේ වැඩකටයුතු අතරේදී, විශේෂයෙන්ම කතාබහ කළදේ, දවසේ කළ යුතු වැඩරාජකාරි , හමුවීම් , ඒවා සඳහා වෙන් කරගත් වෙලාවන් වැනිදේ අමතක වීම.
- කාර්ය බහුල වීම තුල සිදුවන අමතකවීම- කටයුතු කිහිපයක් එකවර කිරීමට තිබූ හැකියාව අඩුවී, එක් කාර්යයක් කරන විට සැලසුම් කර තිබූ, හෝ ඒ සමඟ කළ යුතු අනෙක් කටයුතු අමතකවීම, ඒවායේ පියවරයන් පටලැවීම හෝ විශේෂයෙන්ම යමක් කරත්දි මුහුණදෙන සාමාන්‍ය බාධා කිරීම්, හිත වෙනතකට යාම් වලදී අදාල කටයුත්ත කිරීමට ඇති අපහසුකම.
- වචන අමතක වීම - එදිනෙදා සාමාන්‍ය කතාබහේදී භාවිත වන වචන පවා අමතක වන, දන්නා හදුනන තැන්, පුද්ගලයන්ගේ නම් පවා වරින්වර අමතක වන, ඒ අමතක වීම් නිසා මතුවන අපහසුතාවයන් නිසා කතාබහ අඩුකිරීම, හමුවීම් වලින් වෙන්වීමට පවා හේතුවන තත්ත්වය
- අදහස් පටලැවීම - කතාකරමින්, කරමින් හෝ හිතමින් තිබූ අදහස් වල පිළිවෙල බිඳීයාම, ඒ නිසාම පටලැවීමට ලක්වීම, කරමින් සිටියේ කුමක්දෝ යන්න ගැන නැවත නැවතත් "කල්පනාකරන්නට" වීම වැනි අවස්ථා මේ තුල අත්විඳින්නට වෙන්නට පුළුවන්.
මෙහෙම වෙන්නට ඇති හේතු ගණනාවක් අතරේ අද වෙත්දි හදුනාගෙන ඇති හේතු ලෙස,
මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වන ස්නායු පද්ධතියේ ඇතිවන "අති සංවේදී" බව
සුවදායී නින්දක් නොලැබීමේ බලපෑම,
මෙම අපහසුතා නිසාම, කතාබහ, හමුවීම් වලින් වෙන්වී සිටීමට උත්සාහයම අදාල විය හැකි බව සඳහන් වෙනවා.
පෙර ලිපි වල කීවා සේම, මෙම ෆයිබ්‍රොමයැල්ජියා තත්ත්වයට, සම්පුර්ණ සුවය ලබා දීමක් කරන්නට ප්‍රතිකාර තවමත් නොමැති නිසා, මෙම ෆයිබ්‍රො ෆොග් තත්ත්වයටත් සම්පුර්ණ සුවයක් අපේක්ෂා නොකළත්, තත්ත්වය සමඟ එන වේදනාව පාලනය කිරීම, සුවදායී නින්දක උදව් ලබා ගැනීම වගේ, අනෙක් ලක්ෂණ පාලනය කරගැනීම තුල මේ මතක , අමතක කරවන අපහසුතාවයත් සීමා කරගන්නට පුළුවන් වෙනවා.
අදට මෙපමණි, තවත් ලිපියකින් නැවත හමුවෙමු.